භාෂා තාක්ෂණ පර්යේෂණාගාරය
භාෂා තාක්ෂණ පර්යේෂණාගාරය
කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය

පරිශීලන උදවු   භාෂාව ‍තෝරන්න:   English   සිංහල
දේශීය භාෂා මඟින් පරිගණක භාවිතය සඳහා ශ්‍රී ලංකාවේ ඇති වර්ධනය වන අවශ්‍යතාව සපුරනු වස්, පරිගණක දේශියකරණ කටයුතු සහ භාෂා පැසුරුම්කරණ කටයුතු හා පර්යේණ අරමුණු කරගෙන, 2004 දී භාෂා තාක්ෂණ පර්යේෂණාගාරය පිහිටුවනු ලැබීය.

ජාත්‍යන්තර පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ කැනේඩියානු ශාඛාවෙන් අරමුදලක් ලැබීමත් සමඟම, භාෂා තාක්ෂණ පර්යේෂණාගාරය පෑන් දේශියකරණ ව්‍යාපෘතිය ආරම්භ කළේ භාෂා පැසුරුම්කරණයේ මූලික අවශ්‍යතා කීපයක් වන සිංහල වාක් සංහිතාවක් (Text Corpus), ශබ්දකෝෂයක් (Lexical Resource), ලේඛන කථනයට හැරවීමේ මෘදුකාංගයක් (Text-To-Speech engine) සහ මුද්‍රිත අකුරු හඳුනා ගැනීමේ මෘදුකාංගයක් (Optical Character Recognition application) එළි දැක්වීමේ අරමුණ සහිතවය. මේ අරමුණු සාර්ථකව ඉටු කරගත් අපි මීලඟ පියවර ලෙස දේශීයකරණයට අදාල වන තාක්ෂණයත්, පසුගිය කාල වකවානුව තුල අප ලබාගත් අත්දැකීම් හා දැනුමත් බෙදාහැරීමට අපේක්ෂා කරමු.

තවද, භාෂා තාක්ෂණ පර්යේෂණාගාරය මූලික දේශීයකරණ කටයුතු සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සමඟ සහයෝගීත්වයෙන් කටයුතු කරන අතර, ස්වයංක්‍රීයව ව්‍යාකරණ ප්‍රවර්ග හඳුනාගැනීම (Part-of-Speech Tagging), ස්වංක්‍රීය වචන ගොණු කිරීම (Automatic Word Clustering), කථනය හඳුනාගැනීම (Speech Recognition) සහ පරිගණකාශ්‍රිත භාෂා පරිවර්තනය (Machine Translation) ආදී වූ භාෂා පැසුරුම්කරණ ක්‍ෂේත්‍රයේ විවිධ පර්යේෂණ කටයුතුවල ද නියැලෙමින් සිටියි.

මීට අමතරව, භාෂා තාක්ෂණ පර්යේෂණාගාරය විවිධ රාජ්‍ය හා පුද්ගලික ආයතන වලට භාෂා පැසුරුම්කරණය සහ දේශීයකරණය පිළිබඳව තාක්ෂණික උපදෙස් හා උපකාර සපයයි. එමෙන්ම අප පර්යේෂණාගාරය භාෂා පැසුරුම්කරණ ක්‍ෂේත්‍රයේ පුහුණුකරුවෙකු (instructor) ලෙසද උපකාර සපයන්නෙකු (help desk) ලෙසද කටයුතු කරයි.

කොළඹ විශ්ව විද්‍යාලය
කොළඹ විශ්ව විද්‍යාලය, 80 දශකයේ අග භාගයේ සිට, සිංහල ෆොන්ට් නිර්මාණය, ඩොස් (DOS) හා වි‍න්ඩොස් (Windows) මෙහෙයුම් පද්ධති සඳහා සිංහල යතුරු පුවරු ධාවක (keyboard drivers) නිර්මාණය ආදී කටයුතු වල නියැලෙමින් පරිගණක දේශීයකරණයේ පුරෝගාමියෙකු බවට පත්වී සිටියි. 1990 දශකයේ දී උපාධි අපේක‍්ෂක ව්‍යාපෘති ලෙස දේශීය භාෂා ශබ්දකෝෂ, අක්ෂර වින්‍යාස පරීක්ෂක ආදී මෘදුකාංග පර්යේෂණ මට්ටමින් එළි දක්වන්නට යෙදිනි.

කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය
කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය, 2002 වසරේ සැප්තැම්බර මස දී පිහිටුවීමත් සමඟම දේශීය භාෂා පැසුරුම්කරණය කෙරෙහි වඩාත් නැඹුරු වූ කටයුතු රැසක් ආරම්භ විය. එහි එක් ප්‍රතිඵලයක් ලෙස ප්‍රාථමික උපාධි අපේක්ෂක මට්ටමින් සහ පශ්චාත් උපාධි අපේක්ෂක මට්ටමින් මෙම ක්‍ෂේත්‍රයේ පර්යේෂණ කටයුතු එළි දකින්නට විය. නමුත් පසුකාලීනව පෙනී ගියේ මෙම උත්සායන්හි නිසි පල නෙලා ගැනීමට නම් ජාත්‍යන්තරව පවතින සම්මතයන් මෙම දේශීයකරණ හා පැසුරුම්කරණ පර්යේෂණ හා මෘදුකාංග නිෂ්පාදනයන්ට යොදා ගත යුතු බවයි. මෙම සම්මතයන්ට අනුකූලව වාණිජ මට්ටමේ මෘදුකාංග හා සම්පත් එළි දැක්වීමේ නව මගකට 2003 සිට අපි යොමු වුනෙමු.

අද වන විට භාෂා තාක්ෂණ පර්යේෂණාගාරය මඟින් කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය වඩාත් ක්‍රමානුකූල ප්‍රයත්නයකට උර දෙමින් රාජ්‍ය හා පුද්ගලික ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් භාෂා පැසුරුම්කරණ හා දේශීයකරණ ක්‍ෂේත්‍රයන්හි ක්‍රියාකාරී සාමාජිකයෙකු වී සිටියි.

කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය ශ්‍රී ලංකාවේ භාෂා පැසුරුම්කරණ ක්‍ෂේත්‍රයේ දැවැන්ත පියවරක් තබමින් 2006 දී ප්‍රථම වරට ප්‍රාථමික උපාධි අපේක්ෂක විෂයයක් ලෙස භාෂා පැසුරුම්කරණ හඳුන්වා දෙන්නට යෙදිනි. භාෂා තාක්ෂණ පර්යේෂණාගායේ විශේඥයෝ මෙහිදීලා සම්පත් දායකයින් ලෙස කටයුතු කරති.
© Language Technology Research Laboratory, 2011 Last updated on 14 December 2011